ශ්‍රී ලංකාව

එන්න පාරාදීසයේ ඇවිදන් යන්න....

යාපනේ කෑම බීම - Jaffna foods

 යාපනේ කෑම බීම - Jaffna foods 

යාපනේ කොහේ ඇවිද්දත් යාපනේට ආවේණික කෑම ටිකක් තියනවා රහ බලන්නම වටින.. ඒකට ටවුමේ විතරක් ඇවිදලා බෑ.. ඔය යාපනේ ඇතුලේ අහුමුලු වල ගම්මාන අස්සේ ඇවිදින්න ඕනා.. මනල්කාඩු යන පාලූ පාරක ලොකු නුග ගහකින් හෙවන වුන කඩමන්ඩියක වීදුරු පෙට්ටියක තියන තල් හකුරක් මම දකින්නේ ඔන්න ඔහම ඇවිදින වෙලාවක. ඒක වෙනම රහක්. හැබැයි මේක කිතුල් හකුරු වගේ රහක් කියලා නම් කොහමත් බලාපොරොත්තු වෙන්න එපා.. තල් කොලෙන් වියාලා රවුමට හදලා තියන කවරේ වෙනම කලාවක්.. හැබැයි පුතෝ ඒක ගලවන් කන එක ඊට වඩා එහා ගිය කලාවක්.. ඒ හින්දා වටේ ඉන්න මිනිස්සු හිනස්සවන් නැතිව ඈතකට ගිහින් කන්න ඈ..
එක ඉරට ඈතට දුවන පාරක දෙපැත්තේන් උසට උසේ හැදුන තල් ගස් පෝලීමක් යට ඉදන් බොන නොන්ගුවක රසත් ඒ වගේ. නොන්ගූ කියන්නේ තල් කුරුම්බා වලට. ඒකෙන් පොඩි බීමකුත් හදනවා පැනි ටිකක් එහම දාලා. ඒක වෙනම ලෙවල් එකක් . ඒක තල් කොලෙන් හදපු ගොට්ටෙක දාලා දෙන්නේ වෙනම කලාවකට. රස්නේ විහින් පාරේ මවන මිරිගුවක් දිහා බලන් බොන නොන්ගුවක රස, නොන්ගු ලොදේක රස වගේම කොට්ට කිලංගුවක එලොවටත් නැති මෙලොවටත් නැති රහ යාපනේ පාරක් අයිනේ තල් ගස් හෙවනක ඉදන් විදින්නම ඕන දෙයක්. එක වෙලාවක නම් හිතෙයි මොන අහවල් මගුලකට මේ කොට්ටකිලංගු කනවද කියලා.. හැබයි විසිකරන්නත් බෑ කොහේද හැංගුන රහක් විසිකරන්න හදනකොටම එනවා... සමහර ලව් වගේ ඒකත්...

තව ඉතිං ට්රයි කරනවා නම් කරන්න දේවල් එමටයි. . තල් කැලයක් මැද්දේ ගොට්ටෙකින් බොන තල් රා ටිකක් එහම.. තව කිරි ආප්ප එහමත්.. පැනි ආප්ප නම් කාලා අහලා ඇති. හැබැයි කිරි ආප්පත් කාලා බලන්නම ඕනේ.. ඕකට ඉතිං ගම්මානේ අස්සේ කරක් ගහන්නම වෙනවා.. නැතුව නම් ටිකක් හොයාගන්න අමාරුයි. ඒ අස්සෙම රහබලන්න හමුවෙන දෙයක් තමා මඩු පිට්ටු. ඔව් ඔව් අපි දන්න පිට්ටුවම තමා. හැබයි වෙනස් දේවල්. බත් පිට්ටු වගේම මඩු පිට්ටුවත්. ඕකටම දෙනවා වෙනම කිරි හොද්දක්.. නිමෙන්න කලින් කන්න ඕනේ මතක තියාගෙන. නැතිනම් ඉතිං උගුරෙන් පහලට තල්ලුකරගන්න යෝධබල යෝධ ශක්තිය ඕනේ...
බැදපු මෝර මිරිස්, එලවලු ව්යාංජන එක්ක දෙන කකුලු කරිය එක්ක බත් ටිකක් රහ බලන්නත් අමතක කරන්නම හොද නෑ. හොදි හැලෙන්න නොදී කෙහෙල් කොලේ ගේම ගහගන්න එක තමා වැඩේ... හොදි සහ බත් බැලන්ස් කරගන්න එක මාර අමාරුයි.. එක්කෝ බත් වැඩී නැතිනම් හොදි වැඩී.. ඒ හින්දා ඉතිං අකමැත්තෙන් වුනත් අපිට නම් කීප සැරයක්ම බෙදාගන්න වුනා... මොනවා කරන්නද ඉතිං..
රියෝ අයිස්ක්රීම් වගේම ටවුමේ කඩ ගොඩක් තියනවා ගොඩ දේ රස බලන්න වටිනා. තව ඉතිං ඕන තරම් දේවල් තියෙනවා රහ බලන්න... ගිහින්ම බලන්න.. මේ ලංකාවේ කොහේ ගියත් වෙනස් දෙයක් තමා දකින්න අත්විදින්න වෙන්නේ... ඒකයි ලබන හොදම අත්දැකීම..
යාපනේ ලිපි පෙළම
𝐉𝐚𝐟𝐟𝐧𝐚-යාපනනේ රවුමක් යමුද..?
𝐉𝐀𝐅𝐅𝐍𝐀-යාපනේ රවුමක් යමුද..? 2 වැනි කොටස

No comments:

අපෙන් ඔබට

ලබාදෙන සේවා පහසුකම් උදව්