ශ්‍රී ලංකාව

එන්න පාරාදීසයේ ඇවිදන් යන්න....

වැවතැන්න

වැවතැන්න

 "තැන open කීවා ,යන්න දෙනවලු අවුලක් නෑ අපි එතෙන්ට යමු" දුරකතනය විසන්ධි කරමින් Cijay මල්ලි කීවේ තැන ස්ථීර කරමින්. කොරෝනා පලමු රැල්ලේ අවසානයේ නිසා කඳවුරු බිම් විශාල ප්‍රමාණයක් සංචාරකයන්ට අවසර නොදීමට මේ දින වලදී තීරණය කොට තිබුනි.අපි සැලසුම් කොට තිබූ සොරබොර වැව අසල කඳවුරු භූමිය සහ බෙල්වුඩ් කඳවුරු භූමිය සදහා අවසර නොලැබීම නිසා අපිට අවසාන විකල්පය වෙත හැරෙන්නට සිදුවුනා. පෙරදා කෙහෙල්පත්දෝරුවේ මුහුණ දුන් දේ නිසා අපට අද උවමනා වුනේම පහසුවෙන් ලගාවිය හැකි ස්ථානයක්. "වැවතැන්න" අපේ අද ගමනාන්තය විදිහට තෝරාගෙන අපි උඩදුම්බරින් පිටත් වුනා. අපට වැවතැන්නට යන රජගල පාරට යන්න නම් නුවර - මහියංගණය මාර්ගයේ මැද මහනුවරට යන්න වෙනවා. නුවර සිට එනවා නම් නුවර- මහියංගණය මාර්ගයේ තෙල්දෙණිය ,කරලියද්ද,රඹුක්වැල්ල,වේගල පසු කරන් මැද මහනුවරට පැමිණ වැලමිට වංගුවක් සමග දකුනට තිබෙන රජගල මාවතෙන් මෙතනට පැමිනෙන්න පුලුවන්.  

නුවර- මහියංගණය මාර්ගයෙන් රජගල මාවත දිගේ කිසිම අපහසුවකින් ආපු අපිට, වැවතැන්නට යන්න නම් තාර පාරෙන් කන්ද දෙසට වමට තියන අතුරු පාර දිගේ ගමන් කරන්න සිදු වෙනවා. මෙතෙක් පැමිණි මග ඉතාම හොද තත්වයෙන් පැවතුනද මෙම අතුරු මාර්ගය ඉතා අපහසු දුශ්කර මාර්ගයක් වුනි. කිලෝමීටර 4ක් පමණ දුරක් වුනත් අපිට දැනුනේ නම් කිලෝමීටර්‍ර් 10ක් වගේ දුරක්.එක පසකින් දැඩි බෑවුමත් මාර්ගයේ තිබුන උඩට මතුවුන ගල් නිසා ගමන අවධානම් සහ සෙමින්. ටික වෙලාවකින් අපි කන්ද මුදුනේ තැන්නක් ලෙස තිබෙන සුන්දර වැව තැන්න භූමියට ප්‍රවේශ වුනා.

 

මතක් කල යුතුම දේ වාහනයකින් මෙතෙනට ලගා වන්නට පුලුවන් වුනත් ground clearance අඩු වාහනයකට (කාර්) නම් ටිකක් අපහසු වෙන්න පුලුවනි මේ අවසාන කිලෝමීටර් 4.  තුරු උමගක් අතරින් වැවතැන්නට ඇතුලු වන අපිට ටික මොහතකින් දකුණු පසින් දකින්න ලැබුනේ විශාල ප්‍රදේශයක් පුරා පැතිරුන ජලාශය. ඒ වගේම මාවත දෙපස උසට වැඩුන රූස්ස ෆයිනස් ගස් පෙල අවසානේ ඈතට විහිදුන කොලපාට තැනිතලාව. වලාකුළු මට්ටමෙන් ඉදපු අපිට නිලට දිස්වෙන අහස යට කොල පාටට පැතිරුනු තැනිතලාවේ දර්ශනය ඇස් වලට ගෙනාවේ වෙනස්ම සැනසුමක්. තැනිතලාව හරහා අප සෙමින් ගමන් කලේ කඳවුරු බැඳීමට සුදුසු තැනක් සොයමින් සහ මෙතැන භාරව කටයුතු කරන ඒ මහතාව සොයමින්. අවසානයේ අපි මඳක් හුදකලා වුනු තැනක් අපේ කඳවුරු බිම ලෙස තෝරාගෙන කූඩාරම් සවි කරන්නට පටන් ගත්ත. අපට පහලින් වතු ගම්මානයත් ඈතින් පැහැදිලිව වික්ටෝරියා ජලාශයත් අවට භූමී දර්ශනයත් පැහැදිලිව දකින්නට ලැබුනි. 

මේ භූමිය පුරාවටම තැනින් තැන ස්ථීරව ඉදිකල පිදුරු සෙවිලි කල මඩු කිහිපයක්ම තිබෙනවා. අප එයින් එකක් අසල කූඩාරම් සවි කලේ මෙහි මේස සහ බංකු වලින් තිබුන පහසුව නිසාමයි. ටික මොහතකින් අප වෙත පැමිනි භාරකාර මහත්මයා " මල්ලී රුපියල් 1500 නව දෙනෙක්ට කෑම්පින් වලට උදේ වෙනකන්. දවල් 2 ඉදලා පහුවදා උදේ 9 වෙනකන් තමා ටයිම් එක.  නැතිනම් එක්කෙනෙක්ට 100 මල්ලී.. කියන්න ඕනම දේ වැවේ නාන්න නම් තහනම් මල්ලී. ඕකෙන් තමා පහලට බොන්න වතුර ගන්නේ" ප්‍රවේශපත්‍ර ගත්ත අපි ඒ මහත්මයාට අපිට උවමනාවන් කිහිපයකුත් ඉල්ලීම් ලෙස ඉදිරිපත් කලා. සිනාමුසු මුහුනින් ලෙන්ගතුව අතේ ගෙනා බෑගයත් කරේ එල්ලා ගන්න ගමන් "ඔන්න ඔතනින් පහලට බැහැලා යන්න මල්ලී ලයිම් කාමර ඉස්සරහා කඩේ ඕන බඩු ඔක්කම තියනවා.. මම කීවේ කියන්න හට්ටි මුට්ටි ටිකක් දෙයි. ඕනම දෙයක් තිබ්බොත් කියන්න." කියමින් අපිට සමු දුන්නා.

අප සමග ආපු නාලක මල්ලී සහ දිනූශ මල්ලී පිටත් වෙනවාත් සමග Cijay, චතුව සහ බුද්ධි මල්ලී ගිනිමැලයට ඕන දර හොයන්නටත් තිලී සහ මම රෑ කෑම සාදන්නටත් පටන් ගත්තා. 

මේ වෙනකොටත් පිරිස් කිහිපයක්ම තැන් කිහිපයක කූඩාරම් සවිකර ගිනිමැල සකස් කරමින් සිටියා. මෙහි ටැප් වතුර පහසුකම් මෙන්ම සනීපාරක්ශක පහසුකම්ද තිබීම ඕනම අයෙකුට කඳවුරු අත්දැකීමක් ලබාගන්න පහසුවක්. වැඩ සියල්ල අහවර කල අපි වටපිටාවේ ඇවිදිමින් මේ සුන්දරත්වය සිත්පුරා දැකගත්තා. හවස් යාමයේ වැව අසල බංකුවක වාඩිවී සිහින් මීදුමෙන් වැසී යන ජල තලය දිහා බලා හිදීමත් අමතක නොවන මතකයක්. තැනිතලාවේ එක පසකට වෙන්න තිබෙන කඩා වැටුන ගොඩනැගිල්ලක  සුන්බුන් එකතු කරෙත්  මෙතැනට ගැලපෙනා අමුතුම ලස්සනක්. 

සැදෑ අඳුරත් සමග වටින් ගොඩින් මතුවන වැහි කෝඩයක ලකුණුත් සමග අප කූඩාරම් අසලට ලං වුනේ සීතලත් ටිකෙන් ටික වැඩි වෙමින් තිබුන නිසා. පහත ඈතින් පෙනුන ලයිට් එලි සියල්ල මකාදමමින් වැස්ස ඇද වැටෙන්න වැඩි වෙලාවක් ගත වුනේ නෑ. පන්දම් එලියෙන් සහ කුඩා ගිනි මැලයකින් එලිය වුන අප මඩුවට වී හිරිකඩත් සමග දැවටෙනා සුලගේ ලී දඩු වලින් හදපු බංකු වල වාඩි වී විහිලු තහලු සමග රස කතා එක්ක රෑ කෑමට හදපු නූඩ්ල්ස් කෑවේ උණුසුම නිවෙන්න නොදී. වැස්ස තුරන් වෙනවාත් සමග එලියේ ගිනිමැලය නැවත සකස් කොට දැල්වූයේ කඳවුරු අත්දැකීම සම්පූර්ණ කරගන්නයි. වැස්සත් සමග වැවතැන්නට ආපු නඩ කිහිපයක්ම ගිනිමැලය වටා අපත් සමග එක් වූයේ නව මිතුරුකම් කිහිපයකටම මග පාදමින්. 

ආගිය තොරතුරු අදුනගැනීම් එක්ක මැදියම් රෑ පසුවෙනකම් ඉදපු අපි නින්දට කූඩාරම් වලට ගියේ සීතල සහ සුලගත් එන්න එන්නම එලිමහනේ ඉන්න අමාරු කරපු නිසාමයි. 

පහුවදා උදෑසන අවදිවන විට මුලු වටපිටාවම මීදුමෙන් වෙලාගෙන. අප මනසට ගෙනාවෙම රොබින්හුඩ් කතා මාලාවේ ෂර්වුඩයේ දර්ශනයක්. වලාකුලු තිබුනෙත් අපට පහලින් වගේ. උදෑසන අවට මොහතක් ඇවිදපු අප ලහි ලහියේ උදෑසන කුසගින්න නිවාගෙන තවත් මොහතක් සිත් සේ ඒ සුන්දරත්වයෙන් අපේ සිත් පුරවාගත්තා. සියල්ල අහුරන් කඳවුරු භූමිය පිරිසිදු කල තිරික්කලේ කණ්ඩායමේ අපි එන්නට පිටත් වුනේ නියමිත කාලයට කඳවුරු බිමෙන් පිටවීමෙන් සහය දැක්වීමටයි. මතක් කල යුතුම දේ වන්නේ පවුලේ අය සමග කඳවුරු අත්දැකීමක් ලබා ගැනීමට සුදුසුම තැනක්. සියලු පහසුකම් අවශ්‍යය ප්‍රමාණයට මෙතන පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව හා වතු පාලනාධිකාරය කටයුතු සකස් කොට තිබෙනවා. මෙතන සුරක්ශිත කරමින් ඒ සුන්දර අත්දැකීම ලබාගන්න කියලා ආදරෙන් ඉල්ලනවා.

For More details and Plan your Dream Vacation With us ..
Chat on WhatsApp with-
+94 71 435 9567
Email
Info@ceylonsilkroute.com
Sales@ceylonsilkroute.com


















No comments:

අපෙන් ඔබට

ලබාදෙන සේවා පහසුකම් උදව්