කන්දේ ඇල
කන්දේ ඇල
පසුගිය සති අන්ත කිහිපයම මහත් වෙහෙසකර මෙන්ම දිගු සංචාරයන්ගේ යෙදුන අප කණ්ඩායම මෙවර වෙහෙස අඩු මෙන්ම පහසුවෙන් ලගා විය හැකි ගමනාතයක් කෙරෙහෙ උනන්දු වුනා. මුලින්ම කිතුල්ගල කඳවුරු භූමියක් යොදාගෙන තිබුනත් සිදුවුන හදිසි තත්වයක් මත අපට ගමන් සැලසුම් වෙනස් කරන්නට සිදු වීම යම් අපහසුවක් ගෙන දුන්නත් සෑම විටම දෙවන සැලසුමක් සමග සිටි අපට අපහසුතාවන් මඟ හැර ගන්නට එය ලොකු පහසුවක් වුනා. දෙවන සැලසුම වෙත හැරුන අපි ඒ වැඩකටයුතු සියල්ලම ස්ථීර කරගන්නා විට ගිනිගත්හේන පසු කරමින් ඉහල කඳුකරයට ඇතුල්වෙන බව පරිසරය කෙමින් කෙමින් දනවන්නට පටන් අරන් තිබුනා. ඈතට විහිදී යන කොල පාට තේ වතු වලට ඉහලින් නිලට දිලිසෙන අහසත් සියුම්ව පටන් අරන් මේ වෙනකොට මුලු ගතම වෙලාගන්නා සීතලත් සතියක ගතේ මෙන්ම සිතේ වැඩ මහන්සිය කෙමෙන් දුරු කරමින් තිබුනා.
මෙවර කඳවුරු භූමිය විදියට අපි තීර්ණය කලේ නුවරඑලිය "කන්දේ ඇල" එහමත් නැතිනම් "මීපිලිමාන ජලාශය" ලෙස හඳුන්වන ජලාශය අසල කඳවුරු බදින්න. නුවරඑලිය යන්න, ඉන්න, ඇවිදින්නට ආසා වුනාට කූඩාරමක රැයක් නුවරඑලියේදී ගත කරන්න සංචාරය කරන අය ටිකක් මැලිකමක් දක්වන දෙයක්. කිතුල්ගල , ගිනිගත්හේන, හැටන් ,තලවකැලේ , නානු ඔය පහු කරන් බ්ලැක්පූල් තුන්මං හන්දියෙන් දකුණට හොර්‍ර්ටන්තැන්න මාර්ගයේන් මෙතනට ලගා වෙන්න පුලුවන්. නුවරඑලිය නගරයේ සිට නම් කිලෝමීටර 9 ට ආසන්න දුරක් තිබෙනවා. ඊට අමතරව බදුල්ල දෙසින් පැමිණෙනවා නම් ග්‍රෙගරි වැවට කලින් හමුවන මාගස්තොට මාර්ගයේ වුවත් පැමිණීමට පුලුවනි.
සවස තුන පමණ වන විට එතැනට ලගාවුන අපිව පිලිගන්නට මේ කටයුතු සියල්ල සූදානම් කරලා දෙන සුසන්ත අයියා අප වෙතට ආවේ " තිරික්කලේ මොකද පරක්කු කියලා බැලුවා.? ටිකකට කලින් කට්ටියක් අරන් බෝට්ටුව රවුමක් ගියා. එන්න පැයක් වගේ යාවී. එතකන් දවල්ට කෑම ටික මෙතන හදන් කන්න. BBQ දාන ටික දෙන්න මම හදාගෙන එන්නම්.." කියාගෙන.
දවල් කෑමෙන් පස්සේ පාරුවට නගින තැනට අපේ ගමන් මලු , ආම්පන්න ටිකත් එකතු කරන් අපි බිම වාඩි වුනේ කෙමෙන් කෙමෙන් වැඩි වන සීතලත් එක්කම රාස්සිගේ අව්වෙන් රත්‍රන් පාට වුන වැව් තලයේ අපි දිහාට එන පාරුවයි කන්දේ ඇල ජලාශයයි දිහා බලාගෙන. දවසේ අන්තිම හිරු එලියත් වලාකුළු අතරින් රිදීී ඉරි ලෙසින් මැකී යනකොට අපි ජලාශය දිගේ අපේ කඳවුරු බිමට ඇවිත්. අවශ්‍යය කරන සියල්ලම කඳවුරු බිමෙන් අහුරන ගමන් සුසා අයියා " අද තව කාණ්ඩ දෙකක් ඉන්නවා මල්ලී එහා පැත්තේයි , අතනයි. ඒවත් පොඩ්ඩක් අපි බලනවා. මේ දවස් ටිකේම දවල්ට හොදට පායනවා. රෑට පින්නයි සීතලයි හොදටම වැඩී මල්ලී" කීයන විටත් සීතල පිලිබද හොද අවබෝධයක් අපට ලැබී අවසන්.
සීතලත් එක්කම කූඩාරම් සකස් කොට උණුම උණු කෝපි එකක් සෑම විටම ලිපේ තිබුනේ සීතල එන්න එන්නම වැඩි වූ නිසයි. ගිනිමැලය වෙනදාටත් කලින් පටන් ගත් අපි රෑ කෑම BBQ සමග මාගරින් ගාපු පාන් පෙති කෝට්ටක ගසා ගිනිමැලයෙන් පුලුස්සා ගම්මිරිස් කුඩු ඉස බැදපු බිත්තරත් එක්ක රස්නය පිටම රසවින්දේ හෙමින් හෙමින් පායන හද දිහා බලාගෙන. හද එලියට ජලාශය හොදින් පෙනුනේ මීදුමක් එතරම්ම නොවූ නිසාමය. අනෙක් කාන්ඩ වල කූඩාරම් හොදින් පැහැදිලිව පෙනෙන තරමටම සද එලියක් තිබුන අතර ඒ කඳවුරු භූමි වලත් ගිනි මැල ඉතා ඉක්ම්නටම ආරම්භ විය. ඒත් සමගම සිංදු ගායනාත් යාන්තමින් ඇසුනි.
කතාන්දර රස කතා හොල්මන් කතා වගේම මෙහිදී දක්නට ලැබෙන ඉතා දුර්ලභ කඳුලැස්ස ගස ගැනත් වටිනා විස්තර අසමින් ගිනිමැලයේ තනි රැකපු අපට සීතලටත් වඩා පින්න උහුලාගන්නට නොහැකි තත්වයක් ගෙනාවා. කූඩාරම් වලට රිංගපු අපි පාන්දර 4ට පමණ අවදි වුනේ උහුලාගන්නට බැරි සීතලත් එක්ක. පින්නට කූඩාරම් පිටත කවර තෙත් වී තිබෙන බව පින්නේ තරම කියා පෑවා. කූඩාරමෙන් එලියට එනකොටත් කෝපි මුට්ටියක් ලිපේ. "වැස්සක් ගිහින් තිබ්බ නම් ඔය තරම් සීතක් නෑ.. දිගටම පෑව්වනේ. හැබැයි කූඩැල්ලෝ අඩුයි." කියාගෙන කෝපි කෝප්පයක් දික් කරන් සුසන්ත අයියා ගිනි මැලයට ලං වුනා. හඳ පායලා තිබුනත් අපි බලාගෙන හිටියේ ඉර පායනකන්. අලුයම නැගෙන පළමු හිරු කිරණත් සමගම වටපිටාව පුංචි එංගලන්තය කියන නමට උපරිම සාදාරනයක් කලා. තණකොළ මතට වැටුන තුහින හිම කැටති මෙන් පෙනෙනකොට දුහුල් මීදුමක් වටපිටාව වෙලා ගත්තේ ඇස් වගේම අපගේ හිත් මේ දර්ශනයෙන් ඇති තරම් පුරවගන්නටයි.
ශීතල ඇටමිදුළු දක්වා දුවද්දී සුන්දරත්වය ගෙනාවෙම සියලු දේ අමතක වෙන ලස්සනක්, මතකයන් ගොන්නක්. උදෑසන හිරු එලියට සිත්සේ අපව පුළුස්සන්නට ඉඩහැරපු අපි ඈතින් පෙනන සැතපෙන පිළිමයක් වැනි කොනිකල් කන්දත් හොර්ටන් තැන්න මායිම් කදු දෙසත් බලා සිටියේ සෙමින් සෙමින් නිල්පාට වන අහස යට මීදුමත් එක්ක අතරින් පතර මතු වූ ගස් මැවූ චමත්කාරයයි. කෙමෙන් කෙමෙන් සීතල අඩු වූ පසු ආපසු එන්නට බෝට්ටුවට ගොඩ වූ අප බෝට්ටුවේ හබල් පහරින් බිදෙන ජල හඩ අසන් බලන් සිටියේ අපෙන් සෙමින් ඈත්වෙන කඳවුරු භූමිය දෙස. ගොඩට ආ පසු උණු රොටී සමග දෙන කට්ටසම්බෝලයකින් කුසගිනි නිවාගන්න අතර අප නැවතත් බලාන සිටියේ තාමත් නිසලව රිදී පාටට දිලිසන මීපිටිමාන ජලාශය දෙසය. ජීවිතයේ නුවරඑලිය විඳපු වෙනස්ම විදිහක මතක එකතු කරමින් අපි පිටත් වුනේ පොඩි කර්කශක බවක ඉවසීමක් ජීවිතේට එකතු කරේ අපරිමිත සුන්දරක් නේද කියාගෙන...
සේයාරූ- තිරික්කලේ කණ්ඩායම
No comments: