"මාමා"
"මාමා" -𝓛𝓲𝓯𝓮-
ඇවිදින්න ඕනේ කැලෑ අස්සෙන් , කඳු අස්සෙන් විතරක්ම නෙවෙයි.. අපි නොදකින මිනිස්සුන්ගේ ජීවන අරගල අතරෙනුත්.. ඒ ජීවිත වල තියන සතුට සුන්දරත්වය , දුක වේදනාවත්, හිනාව කදුල , ආදරය අව්‍යාජ බවත් දකිමින් විඳිමින් සුන්දර මතක, අසුන්දර මතක ගලපගනිමින් ජීවිතේට වෙනස්ම අත්ඳැකීම් එකතු කරන සංචාරයක් කිසි දේකට සම කරන්න බෑ.. තවත් එක ගමනක, ගමක අව්‍යාජ මිනිසුන්ගේ ජීවන අරගලයක මතක රූප රාමු ටිකක්.. තිරික්කලේ අපේ ගමනක නැවතුමක සුන්දර මිනිසෙක්.. දුක, වේදනා, සතුට, සැප, හිමි වීම, අහිමි වීම් එක්ක හැමදේ දරාගත් අකම්පිත මිනිසෙක්..
ඔවුන් තුල කොයි තරම් නම් නිහඩවම කරන ජීවන අරගල ඇතිද අපි උනන්දුවෙන් නොබලන නිසා නොදකින.. මේත් ඒ වගේ ජීවින සටනක්.. ජීවත් වෙන්න කරන අරගලයක්. "මාමා" කියලා ආදරෙන් අපි ඔහුව අමතන්න පුරුදු වුනා ඉදපු දවස් දෙක තුන ඇතුලත. උඩගලදෙබොක්ක ගමට ඉන්න වයසක කොයි කවුරුත් පිලිගන්න ගරු කරන කෙනෙක්. උඩුගලදෙබොක්ක ගමට කලින් හුනුගල් තැන්න ගමේ ජීවත් වෙලා මේ ගමට ආපු මුල්ම පුරුකෙන් කෙනෙක් තමා මේ. අනේක දුක් විදලා වුනත් අකම්පිතව උපේක්ශාවෙන් ඒවා දිහා බලපු තාමත් බලන මිනිසෙක්.ඒ වගේම මාමා දක්ශ සර්ප වෙදෙක්. පාරම්පරිකව වෙදකම ඉගෙනගෙන තියෙන්නේ සීයගෙන්. අකුරක්වත් කියවන්න දන්නේ නැති වුනත් සර්ප වෙදකමට අවශ්‍යය කවි අති විශාල ප්‍රමාණයක් අදටත් මතකෙන් හිතාගන්න බැරි විදිහට කියනවා. පනම් කතුර කවි එකතුවක් පැය ගානක් අහන් ඉන්න පුලුවන් රහක්. අපි කුරහන් යායේ මාමගේ පැලේ පාන්දර වෙනකන් ඒ රස වින්දා. අක්කර දෙකකට ආසන්න කුරහන් හේනක් මාමට කදු බෑවුමේ තියනවා. ගහක් උඩ හදපු ලොකු පැලක් එක්කම බිම හදපු පැලක් තියනවා. ඈතින් ඈතට විහිදෙන දර්ශනය මහියංගණය අම්පාර දක්වාම දිව යනවා.
කුරහන් කිරි වදින කාලේට අලියා වල් ඌරා හේන් වදින්නේ දඩු වැට කඩාන. මේ මිනිස්සු ඔක්කම වගේ මේ කාලෙට හේනේ පැලේ තමා ජීවත් වෙන්නෙ. ඒක ජීවන රටාව. කුරක්කන් වලට අමතරව බඩ ඉරිගු , එලවලු වගේම හේන් තක්කලී නයි මිරිස් එහමත් හදන් ඉන්නේ ඒ කාලෙට කෑම ටික මේ හේනෙන්ම හදාගන්න. මාමා තනිකරම චිත්‍රපටියක් වගේ. අතීත කතා ජන කතා මාමා අහපු කතා එකක් ඉවර වෙනකොට එකක් කියන්නෙ ලග තියන හැලි අරක්කු ටික ටික කෝප්ප වලට දාලා තලා කොල විටක් හක්කට ඔබාගෙන සිංහල දුංකොල බීඩියක් පත්තුකරගන්න ගමන්. ඒ තමා ඒ ජීවිත. එකක් නිවෙනකොට එකක් ඔතාගන්න සිංහල දුංකොල බීඩී වල සැර කියන්න තේරෙන් නෑ... මේ මිනිස්සුන්ගේ අව්‍යාජ ජීවිත වල මොහතක් ජීවත් වෙලා බලන්න. පුලුවන් වෙලාවක ගිහින් බලන්න... අපිව මගටම ගෙනත් ඇරලුව මාමා අපි නොපෙනී යනකන් එදා බලන් හිටියේ සෑහෙන දුකෙන්. දෙවනි වතාවේ අපි ආවා කියලා ආරංචි වුන ගමන් අපිව බලන්න ආවේ වෙනදා හිනාවම මූනේ පුරවාගෙන සාක්කුවේ දාගත්තු ඔතපු සිංහල දුංකොල බීඩියක් එලියට අරන් දික් කරන ගමන්මයි...තිරික්කලේ.. Travel blog / Travel/ Sri Lanka /
No comments: