මනල්කාඩු වෙරලේ රැයක්
මනල්කාඩු වෙරලේ රැයක්
රාත්‍රී 11.10යි. වේදිකාවට එන night mail කෝච්චියට නගින්න කුරුණෑගල ස්ටේශමෙන් හිටියේ මමයි මගේ සගයයි හැරුනකොට තව දෙන්නෙක් නැත්තන් තුන්දෙනෙක්. සරම් ඇදගෙන ලොකු බෑග් දෙකක් දාගෙන කූඩාරම් උස්සගෙන නැගපු අපි දිහා මැදිරියේ හිටපු කිහිප දෙනා ටිකක් පුදුමයෙන් බැලුවත් වැඩිය නොහිතාම කොලඹින් ගොඩවුන තිරික්කලේ අනික් සගයෝ දෙන්නට එකතු වුනේ යාපනේ බලා යන්න. අපහසුවකින් තොරව ලබපු පැය කීපයක නින්දකින් පසුව අපි අවදි වන කොට දුම්රිය පරන්තන් පහුකරන් අලිමංකඩ දෙසට ඇතුල් වෙමින් තිබුනේ. මේ පුංචි රට ඇතුලේ සංචාරයකදී දකින්න ලැබෙන තවත් එක් සුන්දර දසුනක්, අත්දැකීමක් අපට එක් කරමින් ඈත සිතිජයෙන් පළමු හිරු කිරණ නැගෙනහිර අහසට විහිදුවමින් ඉර උදාවක ආරම්භය අවට පරිසරය පාට කරමිනුයි තිබුනේ. දකින්නම ඕන සුන්දරත්වයක් එසේ විඳගමින් යාපනෙන් උදේ 6,30 වෙනකොට බැසගත් අපි ,අපේ මිතුරු රොකින්සන් සහ ගයත්‍රී හමු වී මුහුන්තන් නංගිලාගේ ගෙදර භෝජන සත්කාර විඳගෙන යාපනේ ඇවිද්දේ ගැට ගහපු සිංහලෙන් සහ වැඩිපුරම ඉංග්‍රීසියෙන් කල විස්තරත් අහගෙන.
යාපනේ නගරය පුරාම ඇවිදපු අපි ප්‍රධාන බස් නැවතුමෙන් බසයට ගොඩවුනේ අපේ අද නැවතුම්පල ගමනාන්තය වන මනල්කාඩු බලා යන්න. අපි යාපනේ සිට පලෛ වෙනකන් බසයක යන්නත් එතැන් පටන් ත්‍රීරෝද රථ දෙකක යන්නත් තමා තීරණය කොට තිබුනේ. A9 පාරේ ගොස් පලෛ හංදියෙන් බහිනකොටත් අපේ දමිල මිතුරන් දෙදෙනා ඇවිත්. "එප්පඩි යාල් පාලම් නල්ලමා..? මතියානම් සාපුට්ටු පෝවමා.." අහනකොට වැඩිය නොතේරුනත් දන්න දෙමළ ටිකෙන් කෑම කියලා තේරුනා. දමිල රසට ඒ රටාවට ආසාවෙන් කාපු අපි එතනින් මනල්කාඩු වෙරල බලා පිටත් වුනේ පලෛ හන්දියෙන් යාපනේ සිට එනකොට දකුණට ඇති මාර්ගයෙන්. යාපනේ දෙසට එනවිට නම් වමට. ගම්මාන මැද්දෙන් දිවෙන මෙම මාර්ගයේ අපි ගියේ වෙනස්ම පරිසරයක. අතරමගදී ශාන්ත අන්තෝනී ලන්දේසී පල්ලියේ නටඹුන් නැරඹීමටත් අමතක කලේ නෑ. ඒ අතරමග කෝවිල් කිහිපයකට එක්කගෙන යන තරමටම අපේ ත්‍රීවිල් මිතුරා අපි එක්ක මිතුරු වුනා. ඊටත් වඩා ලබාදුන්න දෙමල භාශා පාඩම සෑහෙන්නම විනෝදයක් වුනා.
මනල්කාඩු කියන්නෙ ලංකාව ඇතුලේදී කාන්තාර ලක්ශන සිහිවෙන භූ විශමතාවයන් තියන ප්‍රදේශයක්. මේ වෙනකොටත් අපි විශාල වැලි කඳු මැදින් වැටුන පාරක තමා ඉදිරියට ඇදුනේ. අතරින් පතර තල් ගස් කිහිපයක් තිබුනත් බලන අත තිබුනේ වැලි කඳු සහ වැලිතලා. ට්ක මොහතකින් අලුත් ක්‍රිස්තියානි පල්ලියක ජේසුස් වහන්සේගේ විශාල පිලිමයක් ලගදී අපේ ත්‍රීරෝද රථ වලට සමු දී බඩු බාහිරාදියත් අරන් වෙරල දෙසට පියමැන්නා. කාලෙකට ජලයෙන් යටවෙන විල්ලුව වැනි තණකොල පිටිය පසු කරන් වැලිකඳු සහිත කොටසකට ඇතුලු වුන අපිට වටපිටාවෙන්ම දැකගත හැකිවුනේ සුදු වැල්ල සහ කොලපාට කැසුරිනා ගස්. හොද සරුවට වැඩුන කැසුරින ගස් මණ්ඩි කිහිපයක් පසු කරමින් වෙරළ ආසන්නයට ආපු අපිට ඉතා දර්ශනීය පුළුල් වෙරළ තීරයක් දැකගන්නට ලැබුනා. හුලගට මදක් ආවරණය වුන, ගස් වලට මදක් ඈතට වෙන්නට වගේම වාඩියකට ආසන්නව අපි අපේ කූඩාරම් අටවන්නට කඳවුරු භූමියක් තෝරගත්තා. අපි මෙසේ බිමක් තෝරගන්නට හේතු වුනේ මේ අවට වැලි පොලගුන්ගේ අවධානමක් තිබිය හැකි යැයි අපි සිතුව නිසා. එසේම ආගන්තුක පළාතක කැලයක වැනි වසං වී තිබෙන තැනක සිටීම යහපත් නොවන නිසාත්ය.
එදිනට වේලපහම කඳවුරු බැදගත් අපි හවස් යාමයට සූදානම් වන විට හැන්දෑ යාමය අප වෙතටම ඇවිත් තිබුනා. සුදු වැලි කදු මත තිබුන කැසුරිනා ගස් අතරින් තැඹිලි පැහැ හිරු ගිනි බෝලයක් සේ හෙමින් බැස යනවා අප බලාසිටියේ ගස් අතරින් වැටුන සැන්දෑ හිරු කිරණේ රටා අදහා ගත නොහැකිව. අදුර වැටෙනා තුරුම වෙරළේ බෝට්ටුවක සිටි අප ගොම්මනත් සමගම ගිනි මැලය වටා එකතු වුනේ යාපනේ අප මිතුරන් තිදෙනා බලාපොරොත්තුවෙනි. මෙවර ඔවුන්ගෙ දැඩි ඉල්ලීම පරිදි රෑ ආහාරය ඔවුන්ගෙන් ලාබාගන්නටම සිදු විය. වඩේ, තෝසේ සමග සම්බෝලයක්, හොදි සහ ඉදිආප්ප උවමනා පමණටත් වඩා තිබුනත් කතා රසත් සමග කෑම රසත් එකතු වී සියල්ලම ඉවර වුනේ කාටත් නොදැනී. භාශාමය ගැටළු තිබුනත් මින් පෙර කිසිදා හමු නොවූ යහලුවන් දෙදෙනෙක් සමග අත්දැකීම් බෙදාගත්තේ පුදුම ආශ්වාදයකින්. කරදිය හුලගත් එක්ක කෙලවරක් නැති මුහුදේ රළ බිදෙන හඩත් එක්ක තරු බලමින් පාන්දර වෙනකන් අපේ කතාවන් ඇදී ගියේ වෙනස් සංස්කෘතියන්ගේ වෙනස් ප්‍රශ්න සිතුම් පැතුම් නිදහසේ අපේ විදිහට දිගහරින ගමන්..
පාන්දර යාමේ නින්දට වැටුනත් උදේම ඇහැරුනේ තාලෙකට ඇසුන ගායනා හඩට. කූඩාරමෙන් එලියට එනකොට ගමේ ධීවරයෝ දවසේ ජීවිත පොරය උතුර දකුණ වෙනසක් නැතුව පටන් අරන්. තාම නැගෙනහිර අහසෙන් ඉර උදාවේ පළමු සලකුණු මතු කරන ගමන්. මුළු වටපිටාව රිදී පාටින් හැඩ වෙනවා.. තාලයට අනුව ගොඩට අදින මා දැල් කිට්ටුවට අපිත් ගියේ අපිටත් එයට සහභාගි වෙන්න තිබ්බ ආසාවට. ගායනයේ වචන නම් අල්ලන්න අමාරුයි.කාන්තා පිරිමි වෙනසක් නැතුව දැල අදිනවා. අපිත් පුළුවන් විදිහට සම්මාදම් වුනා. "එන්ඩ පුතා කහට ටිකක් බොන්න මොනවා හරි කාලා.." වචන ගැටගහපු සිංහලෙන් මුව පුරා අව්‍යාජ හිනාවෙන් කට පුරෝගෙන බිම වාඩි වෙන ගමන් අපිටත් කතා කරා. බෙලෙක් කෝප්පයක කහට එකත් එක්ක අඩ කියන කේක් කෑල්ල අතට ගත්තේ "මේ රටේ අපි ඔක්කම එකයි" කියලා හිතමින්. එතන පැය කිහිපයක් තව ඇවිදමින් ගම්මානේ අයත් එක්ක ඉදිමින් අපි පිටත් වුනේ ආයෙත් අනිවාර්‍යෙන්ම එනවා කියා පොරොන්දු වෙමින්. මේ රටේ කඳු තැනිතලා ගම් නගර අතරේ ඇවිද යන අතරම මේ වෙනස් සංස්කෘතියන් තුල ඇවිද යාමත් වෙනස්ම අත්දැකීමක්. වෙනස්ම රහක්..
සේයාරූ - තිරික්කලේ සංචාරක කණ්ඩායම
No comments: