ශ්‍රී ලංකාව

එන්න පාරාදීසයේ ඇවිදන් යන්න....

වල්පොලමුල්ල

 

"තව විනාඩි දහයකින් අපි ඔතන.." එහම කීවට පැය භාගෙකට වඩා බලන් ඉන්න වුනා කූඩාරම්, බෑග් කැමරා උස්සන් පාර ගාවට වෙලා වාහනේ එනකන්. ඉක්මනට ඉක්මනට බඩු ටිකත් පටවන් ජීප් එකේ පිටිපස්සෙන් ගොඩවුනේ පොඩි දොස්මුරයකුත් තියාගෙන පරක්කු වුනාට. උදේ 6 යි අපි කුරුණෑගලින් පිටත් වෙනකොට. ගමනාන්තය වෙන්නේ දවස් දෙකකට කලින් අහම්බෙන් සැලසුම් කරපු සුන්දර ඉසව්වක්..  ඒ නකල්ස් රක්ශිතය තුල හුදකලා වුන මේ වෙන කොට අත් හැර දමා ඇති වල්පොලමුල්ල ගම. එහම කීවට ගොඩක් අය දන්නේ නෑ. අපි ගමන පටන් ගත්තා කුරුණෑගලින්. ගමන් මාර්ගය තෝරාගත්තේ දඹුල්ල පාරේ ඉබ්බාගමුව- තල්ගොඩපිටිය- යටවත්ත හරහා මාතලේ පාර- මාතලේ දඹුල්ල මාර්ගය හරහා මාතලේට. හැබැයි අපි මාතලේ මුත්තුමාරිඅම්මාන් කෝවිලට කලින් රිවස්ටන් යන පාරට වමට හරවලා තමා යන්නේ. මාතලේ නගරය පැත්තේ ඉදලා එනවා නම් කෝවිල පහු වෙලා දකුණට තියන පාර. මේ පාරේ ටික දුරක් එනකොට රත්තොට නගරය හමුවෙනවා. ටිකක් විතර විශාල නගරයක්. වටිනාම දේ තමා මේ තමා අපිට අවශ්‍යය කරන අඩුමකුඩුම ගන්න ලැබෙන අවසාන නගරය. අපි හදපු ලැයිස්තුවට අදලාව සහ එවෙලේ දැකලා ගත්ත බඩු ඔක්කම දාගෙන ආපහු ගමන පිටත් වුනා. කෝවිලට පඩුරක් දාගෙන බඹරකිරි ඇල්ල එහම පහු කරන් සීතලේ කන්ද උඩටම යන්න පටන් ගත්තා.


මේ වෙනකොට සෑහෙන බඩගින්නක් දැනෙන්න පටන් අරන් තිබ්බත් ඔක්කටම ඉවසන් ඉන්නම වෙනවා ෆයිනස් කැලේ ගාව රොටී කඩේට යනකන්. නවත්තනවත් එක්කම කඩේ මාමට කරන්න වැඩක් ඉතුරු කරේ නෑ අපේ නඩයේ අය. රොටී පුච්ච්නවා බෙදාගන්නවා තේ හදනවා කඩේ මමා හිනාවෙනවා විතරයි. එලවලු දාපු පොඩි පොල් රොටියට නයි කොච්චි දාලා කුඩු වෙන්න අබරන කට්ටසම්බෝලය උදේ පාන්දර හීතලත් එක්ක වෙනම රස ලෝකයක්. ඒකටම දෙන ප්ලේන්ටිය කිතුල් හකුරු කෑල්ලට රොටිය දුන්න කට දැවිල්ල වෙනම විදිහකට දනවන්න පටන් ගත්තා. කෑම ඉවර කරපු අපි ආපහු ගමන පටන් ගත්තේ මීදුමයි සීතලයි එක්කම. රිවස්ටන් කදු මුදුනේ සීතල මීදුම හුලග එක්කම අපි පල්ලම් බැස්සේ ඈතින් මානිගල කන්දට වැටෙන රත්තරන් පාට මුල්ම ඉර එලිය බලාගෙන.. පුංචි ලෝකාන්තයට යන්න බහින් නැතුව පිටවල පතන හරහා පල්ලම් බැස්සේ පතන පුරාම ගෑවී නොගෑවී යන මීදුමත් එක්කම. ගොඩක් නාට්‍යය ,වෙලද දැන්විම් වල මතක මේ පතන පුරා තියනවා. අපි ඔන්න මේ වෙනකොට මේ පාරේ පලවෙනි තුංමංහන්දියට ආවා. ඒ ඇටන්වලට යන පාර හමුවෙන තැන. දකුනට ගියොත් ඇටන්වල. ඇත්තටම වල්පොලමුල්ලෙ යන්න පහසුම සහ ලගම මාර්ගය තමා මේ. මේ තුංමන්හන්දියෙන් දකුනට ගිහින් ඇටන්වල ගමට ගිහින් එතනින් වල්පොලමුල්ලට යන එක. හැබැයි අපි අද මෙහෙන් යන් නෑ. අපි අනික් පාර තමා තොරාගන්නේ.


තව තුංමන්හන්දියක් පහු කරමින් අපි එනවා තවත් තුංමන්හන්දියකට.වමට ගියොත් සේර ඇල්ල ,දකුනට නම් ඉලුක්කුඹුර පල්ලෙගම. අපි යන්නේ දකුනට. මේ ප්‍රදේශයේ නම් ටිකක් කදුවුරු භූමි වලට ප්‍රසිද්ධයි වගෙම එහම කදවුරු භූමි කීපයක දකින්නත් පුලුවන්.

තවත් විනාඩි කිහිපයක් ඇතුලත අපි තෙල්ගමු ඔය ආසන්නයේ තියන වන අඩවි කාර්‍යාලය අසලට ලං වුනේ අපේ වාහනයේ ගමනාන්තය විදියට. කාර්‍යාලය ඇතුලට වාහනය දාපු අපි ගමන් මහන්සිය නිවාගන්න ඔයේ වතුරට පොඩ්ඩක් බැස්සා. උදේම නිසාත් මේ නකල්ස් වලින් එන නොඉඳුල් වතුරු නිසාත්ද මන්දා දැනුනේ නම් පුදුම සීතලක්. හැබැයි ගමන් මහන්සිය නම් ඒකටම හේදිලා ගියා. මෙතන කලින් තිබුන පරන පාලම වෙනුවට දැන් අලුත් පාලම වෙනස් හැඩයක් එක් කරලා. ඒ වගේම ඉස්සර තිබුන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කදවුරු භූමියත් දැන් මෙතැන නෑ..

අවශ්‍ය සියලුම දේ ලහි ලහියේ අහුරගෙන අපි සූදානම් වුනේ හැකි ඉක්මනට ගමන පටන්න ගන්න.. මොකද අව්ව සැර වෙන්න කලින් අමාරුම ට්ක නැගලා ඉවර කරගන්න. කලින් කීවා වගේ ඇටන්වලින් මානිගල මං පෙතේ ගිහින් වල්පොලමුල්ලට යන එක තමා ලේසිම සහ දුර අඩුම ගමන.හැබැයි අපි තෝරාගත්තේ ඉලුක්කුඹුර පල්ලෙගම වන අඩවි කාර්‍යාලය ලගින් ආරම්භ වෙන මානිගල මං පෙතේ  මානිගල මුදුනට ගොස්  එතනින් මුලු කන්දම තරනය කොට ඇටන්වල ගම දෙසට පල්ලම් බැසගොස් වල්පොලමුල්ලට යන්නටයි.

අවශ්‍යය අවසරපත් අරගෙන අපිට කන්ද එහා පැත්තෙන් එකතුවෙන මගපෙන්වන සුනිල් අයියගේ විස්තරත් ලබා දී කටයුතු ඔක්කම සූදානම් කරලා දුන්න ආනන්ද අයියට පහුවදා එන්නම් කියාගෙන අපි කාර්‍යාලය ලගින් මානිගල මං පෙතට ඇතුල්වුනා. මතක් කලයුතුම දේ තමා අනිවාර්යයෙන්ම ප්‍රවේශපත් ලබාගත යුතු අතරම මගපෙන්වන්නෙක් ලබා ගැනීමට අමතක නොකීරමත්ය.  අපි කීප සැරයක්ම මෙම ගමන් ගිහින් තිබෙන නිසා මානිගල තැන්නට අපේ මගපෙන්වන සුනිල් අයියා කෑම අරන් එන්න පොරොන්දුවුනා. අපි දෙවියෝ සිහිකරමින් කොල අත්තක් එල්ලමින් භාර වී ගමන පටන් ගත්තා. දකුනු පැත්තෙන් තෙල්ගමු ඔය ගලා බහිනවා. ඒ නීසාම මේ අවට ගස් කොල පාටින් වගේම විශාලව උස්ව වැඩී වියනක් වගේ අපිට ඉහලින් තියෙනවා. හෙවන නිසාම පොඩි අදුරු ගතියක් වගේම රැහැයියන්ගේ සද්දෙත් අඩුවක් නැතුවම ඇහෙනවා. මුල්ම හරිය පඩි වගේ තිබුනත් ටික ටික  පොඩි අඩි පාරකට අපේ මාවත සීමා වුනා. මේ වෙනකොට අපි තැන් කීපයකම මහන්සී නිවාගන්න නැවතිලා පොඩි පොඩි කෑම බීම වතුර වලින් ශක්තියත් අරගෙනම තමා ගමන යන්නේ. මේ මං පෙතේ අතරමග විඩානිවාගන්න දුරින් දුර ගල් රවුමට තියලා බංකු විදිහට හදපු  තැන් කිහිපයක්ම තියනවා. 

පැය දෙහෙකට ආසන්න කාලයක් ගත කරලා අපි මානිගල මුදුනට ඔන්න ආවා. දාඩියෙන් පෙගිලා ඉදපු අපිට කන්ද මුදුනටම ආපු අපි මුලු අවටම හොදටම පේන තැනක වාඩි වුනේ ක්‍රීම් ක්‍රැකර් බිස්කට් වල ජෑම් ගාගෙන කන ගමන්මයි. මෙතැනට මුලු වටයක් හොදට පැහැදිලිව පේනවා. දකුණින් රිවස්ටන් කුලුණු, පිටවල පතන වගේම ඇටන්වල ගමේ වෙල් යාය හොද පැහැදිලිව පේනවා. ඉස්සරහින් මානිගල කන්දේ අපි බහින්නට යන තැන්නත් වම් පසින් නකල්ස් රක්ශිතයේ යෝධ කදු ටිකත් ඊට පහිලින් අපේ අද ගමනාන්තය වන වලපොලමුල්ලත් පැහැදිලිව පේනවා.


චොකලට් ,ක්‍රීම් ක්‍රැකර්, ග්ලූකෝස් ,බීම වලින් සප්පායම් වෙලා ආපහු ගමන පටන් ගත්තේ අලුත්ම ජවයකින්. බලාපොරොත්තුව හැකි ඉක්මනට දවල් කෑම එක ලගට යන්න. මානිගල මුදුනත ගස් ඉතා උස් වූ ගස් නොමැති අතරම තිබුන ගස්ද උසින් අඩු පදුරු ආකරයේ ගස්. තැනිතලාවක් විදියට තියන මේ කොටසේ අඩි පාරවල් කිහිපයක් දැකගන්න පුලුවන් පිට්ටනියක් වැනි කොටසක්. අපි ආසම කොටසක් තමා මේ.. ඒ මොකද හොදට බැලුවොත් මේ හරියේ රට කරඹ ගස් තියෙනවා ගෙඩිත් එක්කම.  පැහීගෙන එන ගෙඩි සුදු සහ රෝස පාටිනුත් හොදට ඉදුනු ගෙඩි දම් පාටිනුත් හොයාගන්න පුලුවන්. ගස් කීපයක ගෙඩි ඉතුරු වෙලා තිබ්බා අපේ වාසනාවට. කන්ද අවසානයෙන් ආපහු පඩි තියෙන මානිගල ඇටන්වල මං පෙතේ පල්ලම් බැස්සේ අපි හැකි ඉක්මනට සුනිල් අයියා මුනගැහෙන්න.

 

සුනිල් අයියා හදන් ආපු බත් එක ලෙහාගෙන එක හුස්මටම කාපු අපි වචනයක් හරි කතා කරේ කාලා ඉවර වෙලා ඉතුරු බත් ටික ගමනකට කවදත් එකතු වෙන බලු යාලුවෙකුට දුන්නටත් පස්සේ. සුදු සම්බා හාලේ බතට පරිප්පු, බිත්තර , බෝංචි වලට මැල්ලුමක් එක්ක දුන්න කෑම දිව්‍යමය භෝජනයක්. ආපහු ගමන් අපි පටන් ගත්තේ තව කිලෝමීටර් 4ක් වගේ යන්න තියන නිසා. මේ වෙනකොට නම් අපේ අය නව ජවයකින් වගේ ගමන් කරේ ඉක්මන්ට ගමනාන්තයට යන්න. මේ වෙනකොට අපි ගමන් කරේ තනිකරම ගස් වලින් හෙවන වුන අඩි පාරක නිසා වැඩි මහන්සියක් අපි කාටත්  දැනුනේ නෑ.  දුක හිතුන දේකට දැක්කේ තැන තැන දාලා තිබ්බ පොලිතීන්.  කදුවැටි කීපයක්ම නැගලා බැහලා ආපු අපි ගමනේ ලස්සම තැනක් වෙන වල්පොලමුල්ලෙ කලකට වතුර වලක් වෙන කලකට පිට්ටනියක් වෙන ලස්සනම ෆොටෝ location එක්කට. අපිට මෙවර මෙතැන දකින්න ලැබුනේ නම් තණකොළ පිට්ටනියක් විතරයි. ටික වෙලාවක් එතන හිටපු අපි ආපහු පිටත් වුනේ තව යන්නට තියන පුංචි දුරත් ගිහින් අපේ ගමනාන්තයට යන්න.


සවස තුන වෙනකොට අපි අවසානයේ අපේ ගමනාන්තයට ආවා. කටුමැටි ගහලා හුනු පිරියම් කරපු ගෙවල් දෙකක් විතරයි දැන් මේ වෙනකොට ගමේ ඉතුරු.ඒ දෙකෙන් එකක් ආගරරත්න මාමගේ සහ අනෙක දසනායක මාමලාගේ. ඒ අයත් මේ වෙනකොට ඇටන්වල ගමේ පදිංචි වෙලා ඉන්නේ. ඒ වුනත් මේ වෙනකොට පහසුමක් සහිතව මේ ගෙවල් දෙක අලුත්වැඩියා කරලා තියෙන්නෙ නවාතැන් පහසුම් සලසන්න බලාගෙනම තමා. මේ වෙනකොට අපි අපේ කදවුරු භූමිය විදිහට තෝරාගත්ත කුඹුරු යාය ලගටම ඇවිල්ලා. එක යායට පෙනුන හෙල්මලු ක්‍රමයට හදපු කුඹුරු යායත්  ඊට එපිටින් වටෙන්ම වටවුන කදු පන්තියත් මෙතැනට එන කාටත් දකින්න පුලුවන් ලස්සනම දර්ශනයක්. ඒ එක්කම තමා අපි දැක්කේ ඈතින් කඩා හැලෙන දුවිලි ඇල්ල මෙතනට පැහැදිලිව පේන බව.


ඉක්මනටම කූඩාරම් ටික හයි කරේ පොඩි පොද වැස්සක් වටෙන් කඩන් වැටුන නිසාමයි. අපේ බඩු ටික කූඩාරම් ඇතුලට දාපු අපි වැඩ බෙදාගෙන කරන්න පටන් ගත්තේ වැස්ස වගේම හවස කලුවරත් වටෙන් එන නිසා. දෙන්නෙක් දර හොයන්න යනකොට තුන්දෙනෙක් රෑ කෑම හදන්න පටන් ගත්තා. තව දෙන්නෙක් තේ එකක් හැදුවේ ඉගුරු බිස්කට් එක්ක හවස තේ වෙලාවට. වැඩ ටික කරනකන් තේ මුට්ටිය ගෑස් එකේ. සුනිල් අයියත් වැඩ වලට පුදුම උදව්වක් දුන්නේ. රෑට නූඩ්ල්ස් ,පාන් එක්ක සොසේජ් හදපු අපි පොඩි ගිනි ගොඩක් කලින්ම අවුලලා මඤ්ඤොක්කා අල දෙකක් ඒකට දැම්මේ පිච්චෙන්න. වැඩ ටික ඉවර වෙනකොට එක්කෙනා දෙන්නා කුඹුරු යාය උඩ පටන් ගන්න කඩුල්ල ගාවට ගියේ එතන පීල්ලෙන් නාගෙන එන්න. "මල්ලී හවසට වතුර පොඩ්ඩක් සීතලයි.." කියල කීවට මෙහෙම සීතල වෙයි කියලා අපි කීයටවත් හිතුවේ නෑ. සමහරුන්ගේ නාන අදහස් එහම වෙනස් වෙන්න සීතල ගොඩක් බලපෑවා. සීතලේ ගැහී ගැහී කූඩැල්ලොත් කාගෙන  ඉක්මනට කූඩාරම ලගට ආපහු ආපු අපි එතන ගල උඩ වාඩි වුනේ දුමදාන කිරි කෝප්පයක් එක්ක ඉගුරු විස්කෝත කන ගමන් රස කතා ටිකක් අහගන්න. "විනාඩි දහයේ දුර කියලා මෙහම එක්කන් එන්න එපා අයියේ...." කියලා කතාව පටන් ගත්ත අපි ගිනි මැලේ  රස්නේ තිබුන පුච්චපු මඤ්ඤොක්කා අලත් අපේ රෑ කෑමටම එකතු කරා. මේ වෙනකොට නම් සීතල හොදටම දැනෙන්න පටන් අරන් තිබ්බ නිසා ගිනිමැලේ සැර අපි වැඩි කරේ කාටත් ඒකෙන් රස්නයක් දැනෙන්න.

ටිකක් වෙලා යනකොට දූවිලි ඇල්ල ගියපු නඩ දෙක තුනක පන්දම් එලි අපිට ඈතින් පැහැදිලිව දකින්න පුලුවන් වුනේ අපි විතරක් මේ අඩවියේ තනිවෙලා නෑ කියන්න වගේ. ගිනි මැලේ ලග වාඩි වෙලා සීතලේ රෑ වෙනකන් ඉදපු අපි කූඩාරම් වලට ගියේ තවත් සීතල වගේම කූඩැල්ලන්ගේ වදේ පොඩ්ඩක් ඉවසගන්න අමාරු තැනයි. මහන්සියට වැටුන ගමන් නින්ද ගිය අපි උදේම නැගිට්ටේ ඉර උදාවෙන්න පොඩි වෙලාවක් තියනකොට. හීතල‍යි මීදුමයි එක්කම පලවෙනි ඉර එලිය අපිට දැකගන්න පුලුවන් වුනා කදු වලට එහා පැත්තෙන් රත්තරන් පාටට වලාකුළු අතරින් අහසම එලිය කරනව.

උදේම හදපු කිරි කෝපි එකක් එක්කම දවස පටන් ගත්තු අපි ඉර පායන දිහා බලන් ගල උඩ වාඩි වුනේ සීතල පරද්දගෙන ඇග උණුහුම් කරපු කෝපි කෝප්පය තව පාරක් පුරවගන්න ගමන්. "මල්ලී ඔය දූවිලි ඇල්ලට උඩින් වගේ එහා පැත්තෙන් පේන්නේ තුන්හිස්ගල , එතකොට ඔය තියෙන්නෙ නාරංතලාගල,ගිනිකෙලියාව, යකුන්ගේ ගල මුල්ල, මාලිගල් තැන්න එතකොට අර බටගොල්ල හේන තැන්න .." කියලා සුනිල් අයියා අපිට පේන ඉස්සරහා භූමි දර්ශනයම විස්තර කරා. "ඉස්සර නම් මල්ලී මේවා සරුවට වගා කරා, හැබැයි දැන් නම් මේ කුඹුරු වගාකරන්නේ නැති තරම්. අලින්ගෙන් ඌරෝ කොරන්ට දෙන්නේ නෑ මල්ලී. අනික මේවා රකින්න ඕනා ඒවා කරලා ගෙනියන්න ගියාහම සෑහෙන්න වදේ. බෝංචි එහම හදනවා ඒත් බේරගන්ට අමාරුයි ". අපිට  තිබ්බ තව ප්‍රශ්නෙකට උත්තර එහමයි සුනිල් අයියගෙන් හම්බවුනේ මෙහි තියෙන දුෂ්කර බවත් අපිට තේරුම් කරමින්. කට්ටියම ෆොටෝ ගන්න ගමන් උදේ කෑමට නූඩ්ල්ස් ආපහු හදපු අපි බඩු ටික ඔක්කම ආපහු අහුරාගෙන ඊයේ හවස යන්න බැරිවුන කුඹුරු යායේ  උඩ පැත්තෙන් ඇහුන දිය ඇල්ල හොයාගෙන ගියා. වැඩි අමාරුවක් නැතුව එතනට ලං වුනත් ගල් එහම නම් සෑහෙන්න ලිස්සනවා. ඒ තරම්ම උසක් නොවුන දිය ඇල්ලේ ටික වෙලාවක් නාගත්ත අපි ආපහු ඇවිත්, ඉතුරු වුන උදේ කෑම ටිකත් කාලා ආපහු එන්න පිටත් වුනේ ආපහු සැරයක් හිතේ හැටියට වටපිටාව බලාගෙන ඉදලා. ගෙනාව කිසිම දෙයක් ඉතුරු නොවෙන්න සුද්ධ පවිත්‍ර කරපු අපි ආපහු ඇටන් වල බලා යන්න ගමන් පටන් ගත්තේ දවල් 12ට ලං වෙලා. ආව දුරට වඩා අඩු දුරක් තමා අපිට ඇටන්වලට ගමට යන්න තියෙන්නේ කියන සැනසීම අපි ඔක්කටම තිබුන.

එන අතරමග මී හරක් නඩයකට මැදිවෙලා බේරෙන්න කැලේ කඩාගෙන දුවපු අවස්ථාවක් එහමත් ගමනේ තිබුනා. පැය තුනකින් විතර අපි ආපහු ඇටන්වල ගමටත් එතනින් ත්‍රීවීලරයක වන අඩවි කාර්‍යාලය ගාවටත් ගිහින් ගමන් අවසන් කරා. ඊට කලින් සුනිල් අයියගේ තේ පැන් සංග්‍රයත් අමතක කරන්නම බෑ. ඉතිං ගමන් අවසානයේ හිතුනේ "මිනිස්සු දුශ්කරයි කියලා අතෑරලා දැම්මේ ලස්සනම දේවල් නේද කියලයි.." දවසකට දෙහෙකට සුන්දර වුනත් ඒ ජීවිතය මොන තරම් දුශ්කරද කියලා දන්නේ එහි ජීවත් වුන මිනිස්සු ..  ගමන් එසේ අවසන් වෙනකොට මතක වලින් හිත් පිරිලා. ඉල්ලන්න තියෙන්නේ පරිස්සමෙන් පරිසරයට ආදරෙන් එය රැකගනිමින් මේ දේවල් දැකගන්න අත්දැකීම් ලබාගන්න...





























No comments:

අපෙන් ඔබට

ලබාදෙන සේවා පහසුකම් උදව්